Sunday, October 6, 2019

Part 3 - බැදුම්කරය ගැන කෝප් වාර්තාව



පෙබරවාරි 27 බිලියන 13.5 බැඳුම්කරයේ දී චෝදනාවක් ලෙස එල්ල වන්නේ ද්විතීයික වෙළෙඳපොළේ පොලී අනුපාතය සියයට 9.48 ක තිබිය දී මෙම බැඳුම්කරය 11.73 ක ඉහළ අනුපාතයකට ලබා දීම ගැන ය. මෙම අනුපාතය 0.05ක වෙනසකින් පමණක් වැඩි විය යුතු බවට මූල්‍ය මණ්ඩලයේ ප‍්‍රතිපත්තිමය නියමයක්ව තිබිය දී මෙලෙස වැඩි පරතරයකින් මෙම බැඳුම්කර නිකුත් කිරීම සැක සහිත බවට මෙම චෝදනාව එල්ල වී පවතී. එහෙත් මෙම පොලී අනුපාතය ඍජු ක‍්‍රමයෙන් වන මිලදී ගැනීම් වෙනුවෙන් පැවැති පොලී අනුපාතය බවත් එය ස්වාධීනව ඇති වූ පොලී අනුපාතයක් නොවන බවත් එජාප මන්ත‍්‍රීවරුන් සිය පාද සටහන්වල සඳහන් කර තිබුනි.

එනමුත් ඍජු ක‍්‍රමයෙන් අඩු පොලියට බැඳුම්කර නිකුත් කිරීම සිදු කළ හැකිව තිබූ බවත් ඒ මොහොතේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 6ක් ඉතුරුව තිබූ බවත් ඒ ලබාගෙන ඉතිරි මුදල පමණක් වෙන්දේසි ක‍්‍රමයට ගැනීමට හැකිව තිබූ බවත් හඳුන්නෙත්ති මහතා මධ්‍ය හමුවල දී ප‍්‍රකාශ කර තිබිණි. එහෙත් එසේ නොකර පර්පෙචුවල් සමාගමට වැඩි වාසියක් අත්පත් කර ගැනීමට අවස්ථාව සලසා දුන් බවට චෝදනා කරන අතර මෙලෙස අයථා වාසියක් අත්පත් කර ගැනීම ගැන කෝප් කමිටු නිර්දේශවල ද මේ සම්බන්ධයෙන් වෙනම නීතිමය බලය සහිත ආයතනයක් මඟින් පුළුල් පරීක්ෂණයක් කළ යුතු බව කියයි. එහෙත් ඍජු ක‍්‍රමය වෙනුවට මුළුමනින්ම වෙන්දේසි ක‍්‍රමය යොදා ගන්නා ලෙසට මහ බැංකුවට උපදෙස් දුන් අගමැතිවරයා ගැන මෙම කෝප් වර්තාවේ සටහනක් නැත

ඒ කෙසේ නමුත් මෙලෙස යෙදූ පා සටහන් සම්බන්ධයෙන් නව දූෂණ විරෝධී පිල මතු කරන තර්ක එතරම් වලංගුභාවයක් නොමැති බව ද පෙනේ. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් මෙම කෝප් වාර්තාවේ 3.2 වගන්තිය යටතේ වන පරිච්ෙඡ්දයෙහි වට්ටම් අනුපාතිකයට බැඳුම්කර නිකුත් කිරීම හේතුවෙන් රජයට මූල්‍ය අවාසියක් ද සිදු වේ යන වැකියට එජාප කණ්ඩායම එකඟ වී නොතිබිණි.

ඒ බැඳුම්කර වෙළෙඳාමේ දී අනුගමනය කෙරෙන ක‍්‍රමවේදය අනුව පොලී අනුපාතය සම්බන්ධයෙන් ඇති තත්ත්වයට සාපේක්ෂව වාසි අවාසි තීරණය වීම සිදු වනවාය යන කරුණ හේතුවෙනි. එහෙත් එජාප මන්ත‍්‍රීවරු මතු කළ කාරණාව සම්බන්ධයෙන් නව දූෂණ විරෝධීන් මතු කළේ එජාපය මෙම විවාදයට තුඩුව තිබෙන බැඳුම්කරය සම්බන්ධයෙන් පාඩුවක් සිදුව නොමැති බව තහවුරු කිරීම සඳහා එම පාද සටහන යෙදූ බවය. නමුත් එම කරුණ සත්‍යයක් නොවේ. ඔවුන් මතු කළේ න්‍යායාත්මක කරැනු මෙලෙස කෝප් කමිටු සභාපතිවරයා විසින් සකස් කළ වාර්තාවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එජාප මන්ත‍්‍රීවරුන් පාද සටහන් කිහිපයක් දමමින් එම කරුණු අභියෝග යට ලක් කර තිබිණි. ඇතැම් පාද සටහනක් විගණකාධිපතිවරයාගේ පූර්ණ එකඟතාව මත සිදු කර තිබෙන බව ද වාර්තා විය.

මේ අනුව මෙලෙස මෙම පාද සටහන් සම්බන්ධයෙන් ගොඩනගන තර්ක දේශපාලනික වුවමනා පදනම් කරගෙන සිදු වන බව පෙනෙන්නට ඇත. එම කණ්ඩායම කොහොමත් සිටියේ බැඳුම්කරය මඟින් වංචාවක් සිදුව ඇති බවට දැඩි මතයක් සමාජගත කරමිනි. ආණ්ඩු බලය හොබවන එජාපය පක්ෂයක් ලෙස මුලින් පෙනී සිටියේ මෙහි වංචාවක් සිදුව නොමැතිය යන මතයේය. නමුත් කෝප් කමිටු සාමාජික එජාප නියෝජිතයන් එම මතය වෙනස් කර ගත්තා පමණක් නොව ජවිපෙ ට වඩා එහා ගොස් මේ තුළ වංචාවක් සිදුව ඇති බවත් වංචාකරුවන් ද නම් කරමින් ඔවුන්ට දඬුවම් ලබා දිය යුතු බවටත් ප‍්‍රසිද්ධියේ පවසන තැනට පත්ව සිටී.

නමුත් මෙම කෝප් වාර්තාව තුළ මේ කොතැනක හෝ වංචාවක් සිදුව ඇති බව හෝ වංචාකරුවකු ගැන වාර්තා නොකිරීමට පරිස්සම් වී ඇත. ඒ දැනුවත් භාවය අවබෝධය මත හෝ තම තමන්ගේ දේශපාලන වුවමනාවන්හි සැඟවුණු අරමුණු වෙනුවෙන් ගත්තා වූ පියවරක් ලෙස ද සැලකිය හැකියතත්ත්වය තවත් බරපතළ වන්නේ බැඳුම්කර නිකුතුවේ දී පසුගිය ආණ්ඩු සමයේ දී බහුලව අනුගමනය කළ සෘජු ක‍්‍රමය වෙනුවට සම්පූර්ණයෙන්ම වෙන්දේසි ක‍්‍රමය අනුගමනය කර අදාළ මුදල් උපයා ගන්නා ලෙස මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දුන්නේ අගමැතිවරයා බවට මහ බැංකු අධිපතිවරයා පවසා තිබීම, ඔහුට මහ බැංකු අධිපතිවරයා ලෙස එම වගකීම බාර දී තිබුණේ අගමැතිවරයා විසින් වීම සහ මහ බැංකුව අගමැතිවරයා යටතේ තිබෙන ආමාත්‍යාංශයක් වීම මත අගමැතිවරයා මෙම චෝදනාවට වගකිවයුත්තා ලෙස සැක කිරීමෙහි සාධාරණයක් බැලූ බැල්මට මතු වන නිසාය.

නමුත් එම සාධාරණ සැකය කෝප් වාර්තාවේ නැත.
එමෙන්ම සභාපති හඳුන්නෙත්ති ප‍්‍රමුඛ දූෂණ විරෝධී කෝප් කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් පිටත දී එල්ල කරන බරපතළ චෝදනාවක් වන්නේ මහ බැංකු අධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් ක‍්‍රියාත්මක කිරීමට යාමේ දී මහ බැංකුවේ නීති රීති අනුව කටයුතු නොකර ඔහුගේ හිතුමනාපයට කටයුතු කිරීම නිසා මෙම ගනුදෙනුවේදී වංචාවක් සිදුව ඇති බවය..මහ බැංකු අධිපතිවරයා මුදල් අමත්‍යාංශ ලේකම්වරයා, ජනාධිපතිවරයා විසින් පත් කරන නියෝජිතයන් තිදෙනකු ආදී වශයෙන් වන මෙම මූල්‍ය මණ්ඩලය විසින් සම්පූර්ණයෙන්ම වෙන්දේසි ක‍්‍රමයට යන්නේද යන්න තීන්දුවක් ගත යුතුව තිබුණත් ඒ සිදු නොකර මහ බැංකු අධිපතිවරයා කෙළින්ම මෙම පෙබරවාරි 27 බැඳුම්කර ගනුදෙනුවේ ප‍්‍රධාන මෙහෙයුම සිදු කරන ටෙන්ඩර කමිටුවට බලපෑම් කර වෙන්දේසි ක‍්‍රමයට බිලියන 20 ක බැඳුම්කර මිලදී ගත යුතු බවට නියෝග කර ඇති බවට ගොඩනගන කරුණ ද අතාර්කික බව පෙනේ.


මෙම චෝදනාකරුවන් විසින්ම අන් තැනක පවසන්නේ අගමැතිවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ කිව්ව පළියට මූල්‍ය මණ්ඩලය අනුමත කළ ගනුදෙනුවක් සිදු කිරීමට ටෙන්ඩර් කමිටුවට බලයක් නොමැති බවය. එය සත්‍යයකි. බැඳුම්කර කොපමණ නිකුත් කරන්නේද, එමඟින් මහ බැංකුවට අවම අවදානම හා අවම අවාසිය සලකා බලා ඒ තීරණය කිරීමේ බලය ඇත්තේ මෙම ටෙන්ඩර් කමිටුවටය. ඒ අනුව මෙම ගනුදෙනුව අනුමත කළ ටෙන්ඩර් කමිටුව මෙම ගනුදෙනුවේ ප‍්‍රධාන වගඋත්තරකරුවා වේ. එමෙන්ම බිලියන 20 ක බැඳුම්කර මිලදී ගන්නා ලෙස ටෙන්ඩර් කමිටුවට මහ බැංකු අධිපතිවරයා පැවසූව ද එම මතයට එරෙහිව යමින් බිලියන 20 ක් ගැනීම අවදානම් කියා එය 10 ක් දක්වා අඩු කළ යුතු බව මහ බැංකු අධිපතිවරයාට දැන්වීම සහ ඔහු විසින් ඒ පිළිගැනීම අනුව ද මෙම ගනුදෙනුවේ තීරකයා ටෙන්ඩර් කමිටුව බව තහවුරු වමේ අනුව අවශ්‍ය නම් මෙම ගනුදෙනුව මුළුමනින්ම නවතා දැමීමේ හැකියාවක් ද ටෙන්ඩර් කමිටුව වෙත තිබිණි. එහෙත් රජයේ මුදල් අවශ්‍යතාව මත බිලියන 13.5 දක්වා එම ගනුදෙනුව සිදු කරනු ලැබීමට ටෙන්ඩර් කමිටුවට සිදුව තිබිණි. එමෙන්ම මෙම අවස්ථාවේ දී මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් කමිටුවට නියෝග යක් හෝ බලපෑමක් සිදු නොකළ බව ද තහවුරුව ඇත. එමෙන්ම එම නිලධාරීන් සහ අධිපතිවරයා අතර ළැබැඳියාවක් තිබුණා නම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැති බවත් පැහැදිලිය.

අනෙක් කරුණ මෙලෙස වෙන්දේසි ක‍්‍රමයක් අනුගමනය කිරීම හා වෙන්දේසිය නියමිත පරිදි පෙරවරු 11 ට අවසන් නොකර අමතර විනාඩි 08 ක් පවත්වාගෙන යාම නිසා පර්පෙචුවල් සමාගමට වැඩි අවස්ථාවක් ලබා දුන් බවට වන චෝදනාව ද ඵල රහිත බව පෙනේ. මන්ද, පෙරවරු 11 වන විට එම සමාගම සිය ලන්සුව ඉදිරිපත් කර තිබීමය. 11න් පසුව ලන්සු ඉදිරිපත් කර තිබුණේ වෙනත් සමාගමකි. එමෙන්ම මහ බැංකු අධිපතිවරයාට තමන්ගේ බෑනා සිටිනවා යැයි කියන පර්පෙනචුවල් සමාගමට වැඩි අවස්ථාවක් ලබා දීමේ වුවමනාව තිබුණේ නම් වෙන්දේසි ක‍්‍රමයට නොගොස් සෘජු ක‍්‍රමය මඟින් එම සමාගමටම මෙම බැඳුම්කරය ලබා දීමේ ඉතා පහසු හැකියාවක් තිබිණි. මුදල් මණ්ඩලය තුළ ඊට අදාළ ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන පසුගිය රාජපක්ෂ සමයේ දී මෙන් කිසිවකුත් නොදැන පෞද්ගලික මට්ටමෙන් මෙම බැඳුම්කර ගනුදෙනු අවශ්‍ය ලෙස සිදු කර ගැනීමේ හැකියාව ද තිබිණි. පසුගිය රාජපක්ෂ සමයේ දී හිටපු මහ බැංකු අධිපතිවරයා අනුගමනය කළ ක‍්‍රමය එය ය. එහි දී ඉහළ පොලී අනුපාත යටතේ මෙලෙස 30 අවුරුදු දීර්ඝකාලීන බැඳුම්කර ගණනාවක් නිකුත් කර ඇත. ඊට අනුව නම් පර්පෙචුවල් සමාගමට 30 අවුරුදු බැඳුම්කර සඳහා ලබා දුන් පොලී අනුපාතය පෙර බැඳුම්කර හා සැසඳීමේ දී අවම අගයක් බව ද සඳහන් කළ යුතුව ඇත.
කෙසේ නමුත් මහ බැංකු අධිපතිවරයා පර්පෙචුවල් සමාගමට වැඩි වාසි අත්පත් කර දීම සම්බන්ධයෙන් දැඩි චෝදනා නැගෙන්නේ ඔහුගේ බැනා වන අර්ජුන් ඇලෝසියස් මෙම සමාගමේ හිමිකරුවා හෝ අධ්‍යක්ෂවරයකු වීම පදනම් කරගෙනය. නමුත් එම චෝදනාව ද අපතේ යන තත්ත්වයක් මතුව තිබේ. ඒ මෙම පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළ අර්ජුන් ඇලෝසියස් මහතා කිසිදු වගකීමක් නො ඉසිලීම හෙළිදරව් වීම නිසාය. එනම් ඔහුගේ මාමණ්ඩිය වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධුරය බාර ගැනීමට සති කිහිපයකට පෙර ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්ව ති⁣බේ.

වඩාත් වැදගත් කරුණක් වන්නේ මෙම බැඳුම්කර ගනුදෙනුවේ දී නීත්‍යනුකූල නොවන කිසිවක් සිදුව ඇති බවට ද වාර්තා නොවීමය. හන්ඳුන්නෙත්ති මහතා පසුගිය දා පැවැති රූපවාහිනී සාකච්ඡාවක දී මෙම ‘වංචාව’ සිදුව ඇත්තේ ‘නීත්‍යානුකූල ක‍්‍රමවේදය’ ඔස්සේ බවට කළ ප‍්‍රකාශයෙන් ද ඒ තහවුරු වෙයි. එසේ නම් දැන් ප‍්‍රශ්නය වී තිබෙන්නේ නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවක් ‘වංචාවක්’ ලෙස අර්ථ දක්වන්නේ කෙසේද යන්නය. එසේම නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවක් අධිකරණයක් දී වංචාවක් ලෙස ඔප්පු කරන්නේ කෙසේ ද යන්නය. එමෙන්ම කෝප් වර්තාවේ හෝ විගණකාධිපති විමර්ශන වාර්තාවේ වංචාව යන වචනය අඩංගු නොවීම ගැන හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසුවේ කෝප් වාර්තාවේ වංචාව යන වචනය නැතත් එම වාර්තාවේ සමස්තය තුළම වංචාව තිබෙන බවය. ඒ ලියා ඇති භාෂාව තුළ වංචාව සැඟවී තිබෙන බවය. එසේම තවත් රූපවාහිනී සාකච්ඡාවක දී කෝප් කමිටු සාමාජිකයකු වූ වීරකුමාර දිසානායක මන්ත‍්‍රීවරයා අර්ථ දැක්වූයේ විගණකාධිපති වාර්තාවේ ‘අලාභය’ යනුවෙන් සඳහන් කොට තිබෙන්නේ වංචාව යන වචනය බවය. මේවා අපූරු අර්ථකථනය...

එසේම කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සිය කමිටු වාර්තාව සකස් කිරීම සඳහා මුළුමනින්ම පදනම් කරගෙන තිබුණේ විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විමර්ශන වාර්තාවය. මෙය යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් විමසුමක් මිස අවසන් වාර්ෂික විගණාධිපති වාර්තාවක් නොවේ. මෙම හේතුව මත විගණකාධිපති විමර්ශන වාර්තාවේ මතු කරනු ලබන කරුණුවල වලංගුතාව ද ගැටලූකාරිත්වයක් මතු කරනු ඇත. අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් සිදු විය හැකිව තිබෙන්නේ මේ ගනුදෙනු වඩා සදාචාරාත්මක කිරීමක් පමණක් විය හැකිය.

කෙසේ නමුත් මෙම කෝප් වාර්තාව සම්බන්ධයෙන් තව ගැටලූකාරී කරුණු රැ සක් මතුව තිබේ. එහෙත් මේ කුඩා ඉඩකඩ ඊට අවස්ථාව සීමා කර තිබේ. නමුත් අවසාන වශයෙන් යමක් කියන්නේ නම් සමස්තයක් ලෙස ගත් කල මෙම කෝප් වාර්තාව වචන සෙල්ලමකින් එහාට ගොස් ඇති ලියැවිල්ලක් හැර අනෙකක් නොවන බවයි.

එමෙන්ම මෙම කෝප් වාර්තාව නිකුත් කිරීමට පෙර ඒ ආසන්න කාලයේ දී සියලූම ජනමාධ්‍ය යොදාගෙන කෝප් වාර්තාව මඟින් මහා වංචාවක් හෙළිදරව් කර ඇති බවටත් අගමැතිවරයා හා අර්ජුන් මහේන්ද්‍ර වංචාකරුවන් බවටත් ඔහුගේ බෑණා මෙම වංචාවෙන් බිලියන ගණන් උපයා ගත් බවටත් තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම ජවිපෙත් මහින්දවාදී විපක්ෂයත් තරගෙට මෙන් කළේය. විශේෂයෙන් ජවිපෙ නායක අනුර දිසානායක හා ජවිපෙ අනුබද්ධ සංවිධානයක් වන දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහත් මේ අතරින් පෙරමුණේ වූහ. නමුත් ඔවුන් තහවුරු කරන්නට උත්සාහ කළ කිසිදු කරුණක් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා පත් කළ මන්ත‍්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ වාර්තාවේ අඩංගු වූයේ නැත. මේ අනුව කෝප් වාර්තාවට පෙර සිදු කළ කෑකෝ ගැසීම, මෙම වාර්තාව පුස් වෙඩිල්ලක් බව සැඟවීමට ගත් පූර්ව උත්සාහයක් බව සැක කළ හැකිව තිබේ. මේ වන විටත් කෝප් වාර්තාව මඟින් වංචාව හා වංචාකරුවන් හෙළි කර ඇති බවට සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින්නේ ද එබැවින් බව සැක කළ හැකියකෙසේ නමුත් එජාප කෝප් කමිටු සාමාජිකයන් එම වාර්තාව දියාරු බවට චෝදනා කරමින් සිටී. අගමැති රනිල්ගේ ගජ මිතුරා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් වංචාකරුවකු බවත් ඔහු වංචාවක් කර ඇති බවත් කියමින් එජාප මන්ත‍්‍රීවරුම ගෙන යන ප‍්‍රචාරය හමුවේ ද ජවිපෙ කෝප් කමිටුව වාර්තාව සැකසීමට ගොස් ඊට අසමත් වූ බව තහවුරු වන්නක්ව තිබේ. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ මිතුරාව බේරා ගැනීමට ඉදිරිපත් වූයේ ද නැත.
එමෙන්ම මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එජාපයේ මතය කුමක්ද යන්න ගැන ද ව්‍යාකූල තත්ත්වයක් ගොඩනැගීමට එජාපය සමත්ව තිබේ. කොහොම වෙතත් මෙය රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ක‍්‍රමවේදයේ ඇති උපක‍්‍රමික භාවය ද විය හැකිය.

මෙහි දී අවධාරණය කළ යුතු අනිත් කරුණ නම් පර්පෙචුවෙල් සමාගම ද්විතීයික වෙළෙඳපොළෙන් අයථා ලෙස ලාබ උපයා ඇත්නම් එම මුදල් ආපසු අය කර ගැනීමට නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ඇතැමකු පැවසීම විහිළු සහගතය යන්නය. නීත්‍යනුකූලව සිදුව තිබෙන ගනුදෙනුවකින් ලැබෙන ලාබය කෙතරම් ඉහළ වුවත් එය අයථා ලෙස වර්ග කළ නොහැක.

එමෙන්ම එය යළි අත්පත් කර ගැනීම සිදු විය හැකි කි‍්‍රයාවලියක් නොවේ. එහෙත් යම් හෙයකින් හෝ එසේ සිදු වන්නේ නම් මූල්‍ය වෙළෙඳපොළම කඩා වැටෙනු ඇත. මන්ද, කවරෙකුගෙන් ලබා ගන්නා ලාභයක් ‘අයථා’ ලෙස හැඳින්වීම සිදු විය හැකි බැවිනි. එහෙත් යම් ලෙසකින් හෝ අධිකරණයක් හමුවේ මේ චෝදනා ගොනු වීම සිදු වන්නේ නම් ඒ රටට වැදගත් වනු ඇත. අද ප‍්‍රශ්නකාරීව තිබෙන ඇතැම් ක‍්‍රියාමාර්ග වෙනුවට වඩා පැහැදිලි ක‍්‍රමවේද සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දු බලපැවැත්වීම එවිට සිදු වනු ඇත. අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් සිදු විය හැකිව තිබෙන්නේ මේ ගනුදෙනු වඩා සදාචාරාත්මක කිරීමක් පමණක් විය හැකිය.

එසේම කෝප් වාර්තාවේ මේ වචන සෙල්ලමට සිදු වන්නේ කුමක්ද යන්න රටටම බලාගත හැකි වනු ඇති බවට සැකයක් නැත. එය සාධාරණ සැකයක් නොව වචනාර්ථයෙන්ම සැකයක් නැත....